Skip to main content

korona

 

කොරෝනා වෛරසය: මොකක් ද මේ? රෝග ලක්ෂණ මොනවා ද? වළක්වා ගන්නේ කෙසේ ද? කොවිඩ්-19 නිසා වැඩියෙන්ම බලපෑමට ලක්ව ඇති රටවල් මොනවාද?

 පසුගිය දින තුන තුළ එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වූ අසාදිතයින් සංඛ්‍යාව 1022ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 3,266ක් මේ වන විට සුවය ලබා ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.

එමෙන්ම, මේ වන විට රට පුරා නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයන් 7,200කට වැඩි පිරිසක් සිටින අතර, 47,200කට වැඩි පිරිසක් එම කටයුතු අවසන් කර නිවෙස් බලා ගොස් ඇත.

කුමක් ද මේ වෛරසය?

කොරෝනාවෛරස යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු නිදන්ගත ශ්වසන රෝග දක්වා වර්ධනය විය හැකි රෝගාබාධ ඇති කරන විශාල වෛරස් 'පවුලකි'.

නමුත් මේ වන විට පැතිරී යන නව කොරෝනාවෛරසය (nCoV) මින් පෙර පුද්ගලයන්ට ආසාදනය වූ බව හඳුනාගෙන නොතිබිණි.

කොරෝනාවෛරසය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වේ. සවිස්තරාත්මක පරීක්ෂණවලින් හෙළි වූයේ මින් පෙර ලොව පුරා ව්‍යාප්ත වූ සාර්ස් කොරෝනාවෛරසය (SARS-CoV) උරුලෑවන්ගෙන් ද මර්ස් කොරෝනාවෛරසය (MERS-CoV) ඔටුවන්ගෙන් ද මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇති බවය. මෙතෙක් මිනිසුන්ට ආසාදනය වී නොමැති කොරෝනාවෛරස් කිහිපයක් සතුන් අතර සංසරණය වන බව හඳුනාගෙන තිබේ.

මෙවැනි වෛරසයක් ආසාදනය වූ පුද්ගලයෙකුට ශ්වසන රෝග, උණ, කැස්ස, හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇති විය හැකිය. වඩාත් දරුණු අවස්ථාවලදී, නියුමෝනියාව, දරුණු නිදන්ගත ශ්වසන රෝග, වකුගඩු අකර්මණ්‍ය වීම සහ මරණය පවා සිදු විය හැක.

නව කොරෝනාවෛරස් රෝගයේ ලක්ෂණ මොනවා ද?

කොවිඩ්-19 ලෙස නම් කර ඇති නව කොරෝනාවෛරසය මගින් ඇති වනුයේ, ශ්වසන රෝගී තත්ත්වයකි. එය උණ රෝගී තත්ත්වයකින් ආරම්භ වන අතර පසුව වියළි කැස්සක් දක්වා වර්ධනය වේ. සතියකට පසු හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වන අතර ඇතැම් රෝගීන්ට රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය.

Coronavirus Sri Lanka

මෙම රෝග ලක්ෂණ ඇති පමණින් ඔබට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි නිශ්චිතව කිව නොහැක. මේ රෝග ලක්ෂණ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් සාමාන්‍ය වෛරස් ආසාදනය වීමෙන් ඇති වන රෝග ලක්ෂණවලට සමානය.

වඩාත් දරුණු තත්ත්වයකට හැරුණු විට, කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් නියුමෝනියාව, සාර්ස්, ඉන්ද්‍රියන් ක්‍රියා විරහිත වීම සහ මරණය පවා සිදු විය හැක.

කොරෝනාවෛරසයේ බලපෑම එල්ල වී ඇති රටවල් මොනවා ද?

චීනයෙන් ආරම්භ වූ කොරෝනාවෛරසය ලොව පුරා වේගයෙන් පැතිරී යන අතර, මේ වන විට රටවල් 210කට වැඩි ගණනක පුද්ගලයන් මිලියන 34කට වැඩි පිරිසකට ආසාදනය වී තිබේ. මේ වන විට පුද්ගලයන් මිලියනයකට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.

මින් බහුතරයක් වාර්තා වන්නේ ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය යන රටවලින්ය. අන් රටවල ද වෛරසය තවදුරත් ව්‍යාප්ත වෙමින් පවතී. කෙසේ නමුත්, සාමන්‍යය දෛනික කටයුතුවලට තහංචි පනවා බොහෝ රටවල් සිය ජනයා නිවාසවලට සීමා කරනු ලැබීමත් (ලෝක්ඩවුන්) සමග වෛරසය පැතිරෙන වේගයේ සුළු පසුබෑමක් දක්නට ලැබිණි.

කොරෝනාවෛරසය බෝවන රෝගයක් වශයෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශවල එකවර පුද්ගලයාගෙන් පුද්ගලයාට පහසුවෙන් සම්ප්‍රේෂණය වීම ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෙය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශ පත් කිරීමට හේතු වී තිබේ.

කොවිඩ්-19 බෝ වන්නේ කෙසේද?

Coronavirus Sri Lanka

පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට කොරෝනාවෛරසය බෝවනුයේ කෙසේ ද යන්න පිළිබඳව තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත. කෙසේවෙතත්, මීට සමාන වෛරස් බෝවීම සිදු වන්නේ කැස්ස, කිවිසුම් වැනි අවස්ථාවලදී නිකුත් වන ඛේටය හෝ සෙම මගිනි.

එමෙන් ම, ආසාදිත පුද්ගලයෙකුගෙන් පිටවන ඛේටය හෝ සෙම් බිඳිති යම් මතුපිටක තැවරී තිබිය හැකි අතර, එහි ඇති වෛරසය දින ගණනාවක් ක්‍රියාකාරීව පවතින බව විශේෂඥයෝ පවසති.

රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට කොපමණ කලක් ගතවේද?

වෛරසය ආසාදනය වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සඳහා දින 14ක කාලයක් ගත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහෙත්, ඇතැම් පර්යේෂකයින් පවසන්නේ, රෝග ලක්ෂණ මතු වීම සඳහා දින 24ක් දක්වා කාලයක් ගත වන බවය.

Coronavirus Sri Lanka

වෛරසය බෝ වීම වළක්වා ගන්නේ කෙසේ ද?

  • නිතර ම දෙඅත් සබන් ගා හොඳින් සෝදා ගත යුතු අතර, මෙය පොදු ස්ථානයක ගැවසීමෙන් පසු අනිවාර්යයෙන් සිදු කළ යුතුය.
  • දෙඅත් පිරිසිදු කර ගැනීමට වෙනත් ආදේශක ද්‍රාවණයක් (hand gel) වුව ද භාවිත කළ හැකිය.
  • කැස්ස සහ කිවිසුම් යාමේදී මුඛය සහ නාසය ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියකින් ආවරණය කර ගත යුතුය.
  • භාවිතයෙන් පසු ටිෂූ කඩදාසිය ක්‍රමානුකූලව ඉවත දැමිය යුතුය.
  • ටිෂූ කඩදාසි නොමැති අවස්ථාවක වැළමිට නවා අතේ උඩ කොටසෙන් මුහුණ ආවරණය කර කැස්ස හෝ කිවිසුම් යැවීම සිදු කළ යුතුය.
  • නොසේදූ අත්වලින් මුහුණ ස්පර්ශ නොකළ යුතුය.
  • ආසාදිතයින් සමීපයට යාමෙන් වැළකී සිටිය යුතු අතර, පොදු ස්ථානවල නිකරුණේ ගැවසීමෙන් වැලකී සිටිය යුතුය.
  • මස් සහ බිත්තර හොඳින් පිස ආහාරයට ගැනීම සිදු කළ යුතුය.
  • වන සතුන්ගෙන් මෙන් ම ගොවිපොළවල සේවය කරන්නේ නම් රෝගී සත්ත්වයන්ගෙන් ඈත් වී සිටිය යුතුය.
  • මියගිය සතුන් පරිභෝජනයට නොගත යුතුය.
Coronavirus Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය,

දෙඅත් පිරිසිදු කර ගැනීමට වෙනත් ආදේශක ද්‍රාවණයක් (hand gel) වුව ද භාවිත කළ හැකිය

කොරෝනාවෛරසය සහ සාමාන්‍ය උණ අතර වෙනස කුමක් ද?

කොරොනාවෛරසය සහ සාමාන්‍ය උණ අතර බොහෝ සමාන රෝග ලක්ෂණ තිබීම හේතුවෙන් නිසි වෛද්‍ය පරීක්ෂණයකින් තොරව රෝග විනිශ්චය අපහසු වේ.

කොරෝනාවෛරසයේ අවධානය යොමු කළ යුතු ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ උණ සහ කැස්සය. සාමාන්‍ය උණ රෝගවලට බොහෝ විට සෙම්ගෙඩි වැනි වෙනත් රෝග ලක්ෂණ ඇති වන නමුත්, කොරෝනාවෛරසය ආසාදනය වූවන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් දැනේ.

රෝග ලක්ෂණ පහළ වූ විට කළ යුත්තේ කුමක් ද?

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ, අදාළ රෝග ලක්ෂණ ඇත්නම් වහා රෝහලක් කරා ගොස් ප්‍රතිකාර ගත යුතු බවය.

මේ අතර, වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සමීපව ඇසුරු කළේ නම් ඔබ ස්වයං හුදෙකලා වීම සුදුසු බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය ආයතනය (PHE) පවසයි. ඉන් ඔබ තුළින් වෙනත් පුද්ගලයින්ට වෛරසය ආසාදනය වීම වැළකේ.

Coronavirus Sri Lanka

ස්වයං හුදකලා වීම යනු කුමක් ද?

කොරෝනාවෛරස ආසාදිතයන් වැඩි පිරිසක් වාර්තා වූ රටවල සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයන් සිය නිවස තුළ ස්වයං හුදෙකලා වීම සඳහා යොමු කරමින් සිටී.

  • නිවස තුළ හොඳින් වාතාශ්‍රය තිබෙන කාමරයක හෝ යම් කොටසක රැඳී සිටිය යුතුය.
  • නිවසේ අන් පුද්ගලයන්ගෙන් ඈත් වී සිටිය යුතුය.
  • නිවසින් පිටත ක්‍රියාකාරකම් සීමා කළ යුතුය.
  • පොදු ස්ථානවලට යාමෙන් සම්පූර්ණයෙන් වළකින්න.
  • පොදු ප්‍රවාහනය හෝ කුලී රථ භාවිත කිරීමෙන් සම්පූර්ණයෙන් වළකින්න.
  • ආහාර සහ ඔබට අවශ්‍ය දේ අදාළ කාමරය අසල තබා යන ලෙස ඥාතීන් හෝ මිතුරන්ට උපදෙස් ලබා දිය යුතුය.
  • හැකි නම්, ඔබ වෙන ම නාන කාමරයක් භාවිතා කළ යුතු වන අතර, එසේ නැත්නම් අන් සියලු දෙනා නාන කාමරය භාවිත කිරීමෙන් පසු ඔබ එහි යා යුතුය.
  • නිවසට අමුත්තන් පැමිණීම සම්පූර්ණයෙන් වැළැක්විය යුතුය.
  • අවශ්‍ය ඕනෑ ම මොහොතක වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.

වැඩි අවදානමක් ඇත්තේ කාහට ද?

රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතින්නේ, වයස්ගත පුද්ගලයින් සහ ඇදුම, දියවැඩියාව, හෘදයාබාධ ආදී රෝගවලින් පෙළෙන්නන්ටය.

චීනයෙන් පළමුවෙන් වාර්තා වූ ආසාදිතයන් 44,000 ට වඩා වැඩි සංඛ්‍යාවක් ඇසුරෙන් කළ විශ්ලේෂණයෙන් හෙළි වූයේ, මරණ අනුපාතය මැදිවියේ අයට සාපේක්ෂව වැඩිහිටියන් තුළ දස ගුණයකින් වැඩි බවය.

අධි රුධිර පීඩනය, පෙනහලු දුර්වලතා සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන්ට මෙම වෛරසයේ බලපෑමෙන් එම රෝගී තත්ත්වය උත්සන්න වීමට ඉඩ ඇත.

ගර්භණී කාන්තාවන්ට වෛරසයෙන් බලපෑමක් තිබේද?

ගර්භණී කාන්තාවන් දැඩි අවදානමක සිටින කණ්ඩායමක් බවට තවමත් සාක්ෂි නොමැත. අන් අය සේ ම ඔවුන් ද ආසාදනය වීම වළක්වා ගැනීමට පියවර ගත යුතුය.

Coronavirus Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය,

මරණ අනුපාතය මැදිවියේ අයට සාපේක්ෂව වැඩිහිටියන් තුළ වැඩි බව සංඛ්‍යාලේඛන පෙන්වා දේ

දරුවන්ට ඇති අවදානම කුමක්ද?

චීනයේ දත්තවලට අනුව, පොදුවේ ගත් කල දරුවන්ට කොරෝනාවෛරසයේ බලපෑම සාපේක්ෂව අවම මට්ටමක ඇති බව පෙනේ.

මෙයට හේතුව ආසාදනය ශරීරයෙන් බැහැර කිරීමේ හැකියාව හෝ රෝග ලක්ෂණ මතු නොවීම හෝ සෙම්ප්‍රතිශ්‍යාවට සමාන සාමාන්‍ය රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කිරීමය.

කෙසේවෙතත්, ඇදුම වැනි පෙනහලු ආබාධ ඇති දරුවන්ට මෙම වෛරසයෙන් බලපෑම් එල්ල වීමේ ඉඩකඩ ඇති නිසා වඩාත් සැලකිලිමත් විය යුතුය.

බොහෝ දරුවන්ට එය තවත් ආකාරයක ශ්වසන ආසාදනයක් ලෙස පෙන්නුම් කර ඇති නමුත් අනතුරු ඇඟවීමේ මට්ටමට ළඟා වී නොමැත.

කෙසේවෙතත් ,මේ වන විට ශ්‍රී ලංකාවේ පාසල් සියල්ල විවෘත කර ඇති අතර, දරුවන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අධ්‍යාපන කටයුතුවල නියැලීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) දත්ත අනුව ආසියාව, යුරෝපය, අප්‍රිකාව, මැදපෙරදිග, උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාවේ රටවල් 191ක පාසල් හා විශ්වවිද්‍යාල වසා දැමීම් ප්‍රකාශයට පත්කර හෝ ක්‍රියාත්මක කර තිබේ.

ලොව පුරා ළමුන් හා යෞවනයන් මිලියන 91%ක අධ්‍යාපනයට මෙමගින් බලපෑම් එල්ල වී ඇති බව යුනෙස්කෝ සංවිධානය පවසයි.

Coronavirus Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය,

ශ්‍රී ලංකාවේ පාසල් සියල්ල විවෘත කර ඇති අතර, දරුවන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අධ්‍යාපන කටයුතුවල නියැලීමට නියමිතය.

දුම් පානය කරන්නන්ට වැඩි අවදානමක් තිබේද?

බ්‍රිතාන්‍යයේ මහජන සෞඛ්‍ය පිළිබඳ ශුභසාධන ආයතනයක ප්‍රධාන විධායක නිලධාරිනී ඩෙබ්රා ආර්නොට් ඉදිරිපත් කර ඇති උපදෙස් අනුව අධික ලෙස දුම් පානය කරන අය එය අවම කර හෝ සම්පූර්ණයෙන් ම නවතා දමා අවදානම අවම කර ගැනීමට උත්සහ කළ යුතුය.

"දුම් පානය කරන්නන්ට ශ්වසන ආසාදන ඇති වීමේ ඉඩකඩ වැඩිය. දුම් පානය නොකරන අයට වඩා ඔවුන්ට නියුමෝනියාව වැළඳීමේ අවදානම දෙගුණයක් වෙනවා," ඇය පැවසුවාය.

වෙනත් රෝගවලට වෛද්‍යවරුන් ලබා දුන් ඖෂධ දිගටම ලබා ගත යුතුද?

වෛද්‍ය උපදෙස් ලබා ගන්නා තෙක් ඔබට ඇති වෙනත් රෝගවලට නියම කර තිබෙන ඖෂධ නියමිත පරිදි ලබා ගැනීම වැදගත්ය.

කොරෝනාවෛරසය කෙතරම් දරුණු ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට කොරෝනාවෛරසය ගෝලීය වසංගත රෝගයක් ලෙස නම් කර තිබේ.

Coronavirus Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය,

ඉතාලිය සම්පූර්ණයෙන් වසා දැමීමත් සමග නිවෙස්වල සිටින පිරිස් සඳලුතලවල සිට ගී ගයන අයුරු දක්නට ලැබිණි

ලෝක සෞඛ්‍ය සංවිධානය සතු දත්ත අනුව සෑම ආසාදිතයින් පස් දෙනෙකුගෙන් සිව් දෙනෙකුට ම ඇති වන්නේ, සුළු රෝග ලක්ෂණය.

  • 80% සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරයි - උණ සහ කැස්ස සහ සමහරුන්ට නියුමෝනියාව ඇති විය හැකිය.
  • 14% බරපතළ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි - හුස්ම ගැනීමේ අපහසුතාව සහ හුස්ම හිරවීම
  • 6% දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් කරයි - පෙනහළු ඇතුලු අවයව අක්‍රීයවීම සහ මරණයට පත් වීමේ අවදානම.

වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වන්නන්ගේ ප්‍රතිශතය 1% හෝ 2%ක් වැනි අවම මට්ටමක පැවතිය ද එම සංඛ්‍යා අවිනිශ්චිතය.

දහස් ගණනක් රෝගීන් මේ වන විට ප්‍රතිකාර ලබන අතර තවත් බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. එහෙයින් මරණ අනුපාතය මීට වඩා ඉහළ අගයක් ගත හැකිය.

එමෙන් ම, සුළු රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් සංඛ්‍යාව ද නිශ්චිත නොවන හෙයින් මරණ අනුපාතය පහළ යාමට ද ඉඩ තිබේ.

රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් සිටීද?

බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක ප්‍රකාශයට පත් කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි කර ඇත්තේ කොවිඩ් -19 සහිත පුද්ගලයින්ගෙන් 78% ට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවය.

ඉතාලියේ කොරෝනාවෛරසය විශාල වශයෙන් පැතිරී යාමට කේන්ද්‍රීය වූ ප්‍රදේශයේ ගම්මානයක් ආශ්‍රිතව මෙම පරීක්ෂණ සිදු කර ඇති අතර, 50% - 75% අතර ප්‍රමාණයකට රෝග ලක්ෂණ නොමැති නමුත් ඔවුන් රෝගය ව්‍යාප්ත කරන "ප්‍රබල ප්‍රභවයක්" බව හඳුනාගෙන තිබේ.

අයිස්ලන්තයේ මෑතකදී සිදු කරන ලද තවත් අධ්‍යයනයකින් කියැවුණේ මහා පරිමානයේ පරීක්ෂණ වැඩපිළිවෙලකදී, කොවිඩ් -19 ආසාදනය වූ පුද්ගලයන් 50% ක් පමණ රෝග ලක්ෂණ නොපෙන්වූ බවය.

ශ්‍රී ලංකාව මේ වන විට ගෙන ඇති පියවර මොනවාද?

Coronavirus Sri Lanka
  • නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධි විධාන උල්ලංගණය කරමින් කටයුතු කිරීම වැළැක්වීම සඳහා වරින් වර ඇඳිරි නීතිය පැනවීම.
  • අත්‍යවශය සේවා, කටයුතු සඳහා පමණක් පොලිස් බලපත්‍රයක් ලබාගෙන නිවසින් බැහැර යාමට අවසර දීම.
  • නිවෙස්වලින් බැහැරට නොගොස් ස්වයං නිරෝධායන ක්‍රමයක් අනුගමනය කිරීම.
  • අප්‍රේල් 8 වෙනිදා සිට අප්‍රේල් 30 වෙනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ සියලු ගුවන් ගමන් නවතා දමන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ.
  • විදෙස් රටවල දිවි ගෙවන ශ්‍රී ලාංකිකයන්ට අදාළ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ වී අවශ්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ද දැනුම් දී තිබේ.
  • මාර්තු 15 සිට 20 දක්වා විදේශයන්හි සිට පැමිණි සියලු පුද්ගලයින් ස්වයං නිරෝධානයට යොමු කිරීමට කටයුතු කිරීම.
  • විවිධ රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයන්ට බෙහෙත් වට්ටෝරු නිවාස වෙත යැවීමට ක්‍රියා කිරීම.
  • මහජන ප්‍රවාහන සේවා වීෂබීජහරණයට පියවර.
  • වෛරසය පාලනයට අන් රටවල් ගත් ක්‍රියා මාර්ග පිළිබඳ අධ්‍යයනය කිරීම.
  • කොරෝනාවෛරස මර්දන කාර්ය සාධක බලකායට ස්ථිර නිවහනක් ලබා දී තිබේ.
  • සේවා සහ අධ්‍යාපනය සඳහා අන්තර්ජාලය භාවිතයට අවධානය යොමු කර තිබේ.
  • අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ පාලන මිලක් යටතේ මිලදී ගැනීම සඳහා නිවෙස්වලට රැගෙන යෑම.
  • දැනට තහවුරු වී ඇති කොරෝනාවෛරස ආසාදිතයන් ගැවසුණු ස්ථාන සහ ඇසුරු කළ අය ගැන අඛණ්ඩව විමර්ශන කොට ඔවුන් නිරෝධායනයට යොමු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
  • මෙම තත්ත්වය සැලකිය යුතු මට්ටමකට පාලනය වන තුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර ඇත.
  • සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සියලු උද්‍යාන නැවත දන්වන තුරු වසා දැමේ.
Coronavirus Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය,

ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගාවලිය ද අවලංගු කිරීමට පියවර ගෙන තිබේ

පොලිස් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය කුමක්ද?

ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ ස්ථානවලට පුද්ගලයන් විශාල ප්‍රමාණයක් රැස් වන බව නිරීක්ෂණයට ලක් වී තිබේ. ඒ හේතුවෙන්, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ක්‍රම හතරක් යටතේ සිදු කිරීමට පොලිස් මුලස්ථානය කටයුතු කර තිබේ.

1. පොලිස් මූලස්ථානය මඟින් නිකුත් කිරීම.

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් සේවකයන් පනහක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා පොලිස් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම පොලිස් මූලස්ථානය මගින් සිදු කෙරෙනු ඇත.

2. පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලවලින් නිකුත් කිරීම.

බස්නාහිර පළාත හැර සෙසු පළාත්වලට අයත් සේවකයන් පනහක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතනවලට බලපත්‍ර නිකුත් කිරීම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් සිදු කෙරෙනු ඇත.

3. කොට්ඨාස භාර පොලිස් අධිකාරි කාර්යාලවලින් නිකුත් කිරීම.

පොලිස් කොට්ඨාස බල ප්‍රදේශයට අයත් සේවකයන් දහයක් හෝ ඊට වැඩි සහ සේවක සංඛ්‍යාව පනහට අඩු ආයතනවලට පොලිස් ඇඳිරී නීති බලපත් කොට්ඨාස භාර පොලිස් අධිකාරි කාර්යාලය විසින් සිදු කෙරේ.

4. පොලිස් ස්ථානවලින් නිකුත් කිරීම.

පොලිස් බල ප්‍රදේශයක ඇති සේවක සංඛ්‍යාව දහයකට අඩු ආයතන සඳහා බලපත්‍ර නිකුත් කිරීමට පොලිස් ස්ථානවලට බලය ලබා දී තිබේ.

කොරෝනාවෛරසයේ බලපෑම් එල්ල නොවූ රටවල් තිබේද?

වෛරසය තවමත් සේන්දු නොවූ රටවල් පවතී. එයින් වැඩි කොටසක් 'ආගන්තුකයන්' වැඩි වශයෙන් පය නොගසන කුඩා දූපත් රාජ්‍යයෝ වෙති.

මේ අතර, කොරෝනාවෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වුහාන් නගරය මාස ගණනක් වසා දැමීමෙන් පසුව අප්‍රේල් 8 වෙනිදා සිට නැවත විවෘත කිරීමට පියවර ගත්තේය.

පසුගිය ජනවාරියේ මැද භාගයේ පටන් වූහාන් නගරය සෙසු ලෝකයෙන් හුදෙකලා කරමින් වසාදමා පවතී.

නමුත් බලධාරීන් දැන් පවසන්නේ සෞඛ්‍යසම්පන්න පුද්ගලයන්ට අවශ්‍ය නම් අප්‍රේල් 8 වෙනිදා පටන් නගරයෙන් පිටත සංචරණය කළ හැකි බවය.

මේ අතර, ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය මෙන්ම ඉතාලිය ද කොරෝනාවෛරසය පැතිරීම වැළක්වීමේ අරමුණෙන් පැනවූ සීමා පියවරෙන් පියවර ලිහිල් කිරීමට පියවර ගෙන තිබේ.


Comments

Popular posts from this blog

P.C.C YOUTUBE CHANNELS